~ 12 ~

201 56 15
                                    

මහීසේනාත්, ආගන්තුක තරුණයාත් දුනු හී අමෝරාගෙන එකිනෙකා දෙස බලා සිටියේ අනෙකා දවා අළු කළ හැකි බැල්මකිනි.

මහීසේනා ඉලක්කය ගෙන දුන්නේ වරපට අත්හැරීමට සැරසෙත්ම , තරුණයා දුනුහී පහත හෙලූ බව දුටු ඈ මදකට නැවතුණේ නිරායුධ මිනිසෙකු සමඟ සටන නිවටකමක් ලෙස ඈ සැලකූ නිසයි.

ඔහුගේ තියුණු බැල්ම මහීසේනා පසුකර ගොස් පිටුපස වූ දෙබලක් සහිත වෘක්ෂයක් දෙස යොමුවූ අතර, එදෙසට වේගයෙන් දිව ගිය ඔහු වෘක්ෂය පිටුපස පරීක්ෂා කරනු ඇය දුටුවාය.

" කවුරුන් හෝ මෙතන සිටියා. ඒ තැනැත්තා ඔත්තු බලමිනුයි සිටියේ. මා යම් චලනයක් දුටුවා මේ වෘක්ෂය අසල, නිසැකයි මට "

" නුඹේ සූදානම මගේ අවධානය වෙනතක යොමු කිරීමටද මෙවන් මුසා පවසා ? "

" හහ් ! නුඹට මුසා පවසන්න ? මට වෙන වැඩ නැතිද හැබෑවටම ? මා පැවසුවේ මා දුටු දෙයයි . සැබැවින්ම නුඹ කවුද ? කුමක්ද මෙහි කරන්නේ කියා පැවසුවොත් හොඳයි දැන්ම ! නුඹ ඔය හොයන සුදුකළු හෝ කවුරුන් හෝ වේවා... කුමක්ද මේ සියල්ලෙහි අර්ථය ? "

" වදන් ප්‍රවේසමෙන් හසුරුවනු. නුඹ මා කවුරුන් කියාද සිතා සිටින්නේ මා හට ඔය ලෙසට අමතන්නට? "

" හොහෝ, එවිට නුඹ මා කවුරුන් කියාද සිතා සිටින්නේ මට ඔය ලෙසට ඇමතීමට  ??? අනික කුමක්ද ඔබ ඔය කතා කරන විලාසය. ඔබ ඔබේ තත්වයට වඩා බොහෝ උසස් ලෙස සිතා සිටින බවකුයි පෙනෙන්නේ . වස්ත්‍රවල පෙනුමෙන් නම් දාසියක් . හහ් ! කතාව නම් දෝලාවෙන්, නමුදු ගමන පයින්. "

" නුඹට මම ..... "

" හොහෝ සන්සුන් වෙන්න . වේවා ශාන්ති , නොවේවා කේන්ති . මෙයයි මා නුඹට දෙන අවසන් අවස්ථාව. නුඹ කවුද , කුමට මෙහි පැමිණියාද කියා පැවසුවොත් .. ඇතැම්විට.. යම් උපකාරයක් කළ හැකිවේවි මට "

මහීසේනා මේ වන විට සිටියේ කෝපාග්නියෙන් ඇවිලෙමිනි. ඇයට ජීවිතයේ කිසිදු දිනෙක මෙවන් අපහාසයකට මුහුණ දීමට සිදුව නැත. නමුදු මෙහි යම්කිසි වරදක් සිදුව ඇති බව වැටහුණු නිසාදෝ ඈ සිදුවූ සියල්ල කෙටියෙන් අනෙකාට පැහැදිලි කළේ දත්මිටි කමිනි.

ඈ සියල්ල පැහැදිලි කළ හමාර වූ වහාම , තරුණයා බිම පෙරළෙමින් මහ හඬින් සිනාසෙන්නට පටන් ගත් අතර, ඒ සිනා හඬ සීහ වනය පුරා දෝංකාර දුනි.

" හහාහාහා....මේ කුමන විහිළුවක්ද ? මට දැනෙන්නේ සුරංගනා කතාවක් වගෙයි. ධවල කාල යනු හා පැටවුන් දෙදෙනෙක්ද එසේනම් ? හහහා... මා සිතුවේ ඔබ හැසිරුණු විදියට ඒ රාජකුමාරවරුන් දෙදෙනෙකුවත් කියායි. හා පැටවු දෙන්නෙක් නිසාද මේ සියල්ල ? තර්ජනය කළ පණිවිඩ ? සැබෑවටම ??? හහා... කාලෙකින් මෙය තමයි මා ඇසූ හොඳම විහිලුව !! "

සිනාව නවත්වාගත නොහැකිව සිටි ඔහු මහීසේනාගේ බැල්ම දුටුවේ නැත. තමාට ඔවුන් කොතරම් වටිනවාද කියාත්, තමා සැබෑවටම කවුරුන්ද කියාත් නොදැන මේ අධමයා පවසන වාචාල වදන් වලට තවත් නම් සමාවක් දිය නොහැකි බව ඈට අවබෝධ විය.

" නිහඬවෙනු නුඹ !!! අදයි නුඹේ අවසානය.. "

තම වස්ත්‍ර අතර සඟවා සිටි කිණිස්ස ඇද බිම වැටී සිටි තරුණායාගේ ගෙලට තැබූ මහීසේනා එලෙස පවසමින් කිණිස්ස ඔහුගේ ගෙලට තව තවත් තද කළේ ඔහුගේ ගෙලෙන් රුහිරු බිඳු මතුවෙද්දීය.


මතු සම්බන්ධයි...



*** 


ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමා ඉතින් :)


ඇත්තටම අර ගහ පිටිපස්සේ කවුරුහරි ඔත්තු බැලුවද ? නැත්නම් ඒකත් බොරුවක්ද ?

දෙන්නම තකට තක හැබැයි.  



ඔන්න කාලෙකට හරියන්න අද කතාව ගොඩක් දුන්නා හිහී...

අර අහිංසක ( හොඳ අහිංසක ! ) තරුණයාගේ අවමඟුලෙ සංවිධාන කටයුතු ඔබ සියලු දෙනාට භාර කරමින් මම නික්ම යමි....

( වෝට් විතරයි ලැබෙන්නේ... කමෙන්ට් සූට්ටයි :( මගේ හිත බිඳිලා )
 

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now