මිනේත්‍ර? උඹ දන්න කෙනෙක්ද?
කවියා පුදුමවෙලා කොල්ලා දිහා බලන් ඉන්නවා.
ඔව් ඔව්.. මෙයා අද තමා ආවේ.. මගේ කාමරේම තමා..
අඩේ එහෙමද.? එන්න මල්ලියා.. එන්න.. මෙතන තමා ඉතින් කට්ටිය අඳුරගන්න තැන..
කාටවුනත් ළඟට ගිහින් කතා කරන පුරුද්දක් කවියට තියෙනවා. මූ අදත් පුරුදු විදියටම මිනේත්‍ර ළඟට ගිහින් කතා කරේ හිනාවෙවී.
.......
කිසිම හැඟීමක් නැතුව කවියව මගෑරලා මන් ඉන්න දිහාවට එයා ඇවිදන් ආවා. කවියා මන් දිහා බලාගෙන හිටියා.
ඔයා එකපාරටම කොහෙද ගියේ.?
ආහ්.. මන් මේ නාගන්න කියලා ආවා.. මට ඔයාට කියලා එන්නනම් අමතක වුනා..
ම්ම්.. මෙතනද නාන්න තියෙන්නෙ?
මිනේත්‍ර මාවත් පහු කරන් ගිහින් නාන තැනට ඇවිදන් යද්දි කවියා හිමීට මන් ළගට රීටුවා.
ආ.. ඔව් ඔව්.. මේ හරියෙ ඉන්න ඔක්කොම ඔතනට තමා නාගන්න එන්නෙ..
ම්ම් ඔයා නෑවාද.?
නෑ තාමනම් නෑ..
නාලා එන්නකො එහෙනම්..
ආපහු අපිව පහු කරම් දැක්කෙ නැති ගාණට මේකා කාමරේ පැත්තට ඇවිදගෙන ගියා. මමයි කවියයි මූණට මූණ බලාගත්තා.
මොකක්ද බන් ඒ වුනේ.?
අනේ.. මන්දා..
ඌ පොඩ්ඩක් අමුතු චරිතයක් වගේ..
ම්ම්.. හැබැයි හොඳට ඉගෙනගෙන වාගේ.. කතා කරන.. හැසිරෙන විදියෙන් ඒම එකක් දැනෙනවා..
වෙන්නැති.. වෙන්නැති බන්.. උඹ හිමීට විස්තර ටිකක් අහලා දැනගනිම්කෝ.. කෝකටත් ළඟ ඉන්න එකානේ.. විපරමක් දාලා බලපන්..
ම්ම්.. ඔක්කොටම කලින් නාගෙන ගිහින් නින්දක් දාන්න ඕන බන්..
හරි හරි.. එහෙනම් මාත් යනවා බන්..
ඇයි නාන්නැද්ද.?
මන් නාගෙන තමා උඹ එනකම් බලන් හිටියෙ.. එන්නම්..
මට අතත් වනාගෙන කවියා උගෙ කාමරේ පැත්තට ගියා. ඔක්කොමලා ගිහිල්ලා හන්දා මන් නිදහසේ නාගත්තා. නැත්තම් එකෙක් හෝදන් එන්න එනකොට සබන් ගාන එකාගෙ සබන් පාර වැදිලා ඒ ටික හෝදගන්න ආයෙම ෂවර් එක ළඟට යනවා. නැත්තම් දත් මදින එකාගෙ බ්‍රෂ් එක උස්සලා තව එකෙක් නියපොතු මදිනවා. ඊට පස්සෙ ඔව්වටත් මුන් වලි දාගෙන ඕවා විසඳලා යද්දි නිදාගන්න තියෙන වෙලාව අහවරයි.