කඳුළැලි - 34

Start from the beginning
                                    

ඇගේ හඬ අවසාන වදන් කිහිපය තුළදී බිඳී ගියේ ඇය සිටින්නේද දරාගත නොහැකි ‌ශෝකයෙන් බව කියා පාමිනි. මම ඇගේ අත දෙස බලා සිටියද මට නැගිටීමට වුවමනාවක් නොවිණි. යෙහෙනි කිසිවක් නොකියා මා දෙස බලා සිටියාය. මම නැවතත් හිස දෑත් අතර සඟවා ගත්තෙමි.

'නැගිටින්න!' යෙහෙනි එවර තරමක් තදින් කියා සිටියාය. ඇගේ හඬේ තිබුණේ කලකිරීම මුසු කෝපයකි. මම ඇය දෙස මද වේලාවක් බලා සිට නැගී සිටියෙමි. 

ඇය මගේ නළලට අත තබා උණ පරීක්ෂා කළාය. 'ඔයා ඕපීඩී එකට ගිහින් බෙහෙත් ටිකක් ගන්න. දැන් පොලිසියෙන් ඒවි. මම යනවා මෝචරියට.' 

ඇය මා පසුකොට ඇවිද යද්දී මම ඇය දෙස බලා සිටියේ පුදුමය කැටි කොටගෙනයි. ඇයට ඇවිද ගැනීමට හෝ නොහැකි වන තරම් වදයක් ඇයට දී ඇති බව ඇගේ සිරුර කියා පෑවද ඇය කිසිවක් නොවූ ලෙසින් හැසිරීම මට ගෙන දුන්නේ පුදුමය මුසු බියකි. ඇයව ඇගේ මව දූෂණය කළ අවස්ථාවල පවා ඇය කිසිවක් නොවූ ලෙසින් සිටි ආකාරය මට සිහියට නැගිණි. මම වෙව්ලන දෙපයින් යුතුව සිටගෙන ‌අසල වූ හෙදියක් කරා ගොස් ඇගෙන් බාහිර ප්‍රතිකාර අංශය තිබෙන තැන විමසා සිටි විට ඇය මට පවසා සිටියේ පොලිසිය පැමිණෙන තුරු මට කොතැනකටවත් යෑමට අවසර නැති බවයි. 

වෙව්ලන දෙපයින් හා භීතියෙන් ගැහෙනා හදවතින් යුතුව මම අසල වූ පුටුවක හිඳගත්තෙමි. මගේ දෑත්වල මැණික් කටුව වටා රතු පැහැයට හැරී තිබුණේ පහර දුන්නන් විසින් මගේ දෑත් තදකොට ගැට ගසා තිබුණු බැවිනි. ඒ තුවාල දැකීමෙන් මට නැවතත් සිහියට නැගුණේ ශනල්ක වෙනුවට මිය යෑමට සිටියේ මම යන කරුණයි. 

නැවත වතාවක් මගේ දෑස් කඳුළින් පිරී යන ආකාරය මට දැනුණද මම යටි තොළ සපාගත්තේ යෙහෙනිව සිහියට නගා ගනිමිනි. ඇය ගැහැනු ළමයෙකු වුවද මට වඩා ශක්තිමත් ලෙසින් සිටීම මට ගෙන දුන්නේ මම දුර්වලයෙකු යන හැඟීමයි. කෙතරම් පාලනය කරගන්නට තැනුවද මම මොහොතක් ගතවන තැන නැවතත් හඬමින් සිටියෙමි. රෝහලේ තැනින් තැන ඇවිද යන මිනිසුන් මා දෙස බලනා ආකාරය මට දැනුණද මට හැඬීම නවතා ගැනීමට තරම් සවියක් නොදැණුනි. විනාඩි පහළවක් පමණ ගත වූ තැන යෙහෙනි නැවත වරක් මා අසලට පැමිණ මගේ එහා පසින් හිඳගත්තාය.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now