කඳුළැලි - 12

Start from the beginning
                                    

'තව දවසක් එයා මෙතන ඉන්නවනේ මල්ලි බබෝ...' තුෂී අක්කා මගේ හිස අතගෑවාය. 'අපි ගිහින් මොනවා හරි කාලා ටිකක් නිදාගමු...'

මම තුෂී අක්කා දෙස බැලුවෙමි. 'මම නිදාගත්ත වෙලාවට එයා නැගිට්ටොත් අක්කා මට කතා කරනවද?' මම වියැළුණු උගුරින් යුතුව විමසුවෙමි.

තුෂී අක්කාගේ දෑසින් කඳුළු වැගිරෙන ආකාරය මට පෙනුණත් ඒ ඇයිදැයි වටහා ගැනීමට මට හැකි වූයේ නැත. ඇය හිස වැනුවාය. 'මම කතා කරන්නම් මල්ලි... එන්න යමු අපි ටිකක් කාලා නිදාගන්න.' 

ඇය නැගිටීමට තැත් කළ විට මම ඇගේ අතකින් අල්ලා නැවැත්වීමි. 'අක්කේ... මට කවන්න...' 

ඇය හිස වනා එතැනින් පිටව ගියාය. මම බිමට අත්ල තද කොට අත්ලට බරදී නැගිට මෙහන්සා නිදා සිටි තැනට ගියෙමි. ඇගේ දෑත් අතර සුදු රෝස මලින් තැනූ මල් පොකුරක් රඳවා ඇත. මෙහන්සා මල් පිළිබඳ දැක්වූයේ අල්ප උනන්දුවකි. නමුත් ඇය සුදු රෝස මල් පොකුරකට අකමැති නොවන බව මම විශ්වාස කළෙමි. මගේ සිරුර පසුපසට වැටෙන්නට ගියත් මම නැවතත් බිත්තියට වාරු වී බිමට රූටා වැටුණෙමි. මෙහන්සා කොයි මොහොතක හෝ අවදිවී මා අසලට එන බව මට විශ්වාස විය. තුෂී අක්කා නැවතත් මගේ එහා පසින් හිඳගන්නා ආකාරය මට දැනිණි. 

ඇය මොනවාදෝ අනා මගේ මුවට එබුවද පළමු උගුරම මට සිර විය. අක්කා මට වතුර උගුරක් පොවා නැවතත් කෑම දීම ආරම්භ කළාය. ඇය කවා අවසාන වද්දී මට පෙරට වඩා යම් වෙනසක් දැනිණි. තුෂී අක්කා මා වාරු කොටගෙන පහළ මාලයේ තිබූ අමතර කාමරයකට මා ගෙන ගොස් මා ඇඳ මතින් දිගාකොට මගේ සිරුර වැසෙන සේ රෙද්දක් පෙරවා දැමුවාය.

ඇය පිටව යන්නට යද්දී මම ඇගේ අතකින් අල්ලා ගත්තෙමි. 'අක්කේ... මෙහන්සා නැගිට්ටොත් මට කතා කරන්න...'

'හරි බබෝ...' ඇය සෙමෙන් පවසා සිටියාය. 

ඇය කාමරයේ දොර වසා පිටව ගිය පසු මම දෑස් පියාගත්තෙමි. මෙහන්සා අවදි වුවහොත් තුෂී අක්කා මට පවසනු නොඅනුමානය. එනිසා මට පැයක් හෝ දෙකක් නිදාගත හැකිය. යන්තමින් මගේ දෑස් පියවෙද්දී මම නැවතත් තිගැස්සී අවදි වූයේ කිසිවෙකු හෝ මගේ කමිස කරෙන් ඔසවා මා ඇඳෙන් බිමට ඇද බිත්තියකට තද කළ හෙයිනි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now